(ප්‍රසාද් රුක්මල්)

ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුයම ලුණුගල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලිසිය පවසයි .

ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රියදුරකු ලෙස රැකියාව කරන දෙදරු පියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධ සැකකරුට ගමන් කිරිමට ත්‍රීරෝද රථයක් මගින් ගමන් පහසුකම් ලබා දුන් ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලුණුගල නගරයේ ගරාජ් හිමිකරුවකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ලුණුගල ජනතාපුර තුබහිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසූරියගේ සුමිත්‍රා දමයන්ති (36) නැමති දෙදරු මව මෙසේ ඝාතනයට ලක්ව්ය

අවුරුදු 19 ක දියණියක සහ12 හැවිරිදි පුතෙකු සිටින බවත් ,සැකකාර සැමියා සමඟ කලක පටන් මෙම යුවල අතර පවුල් ආරවුලක් හටගෙන තිබූ බවද පොලිසිය සදහන් කළේය .