(නිමන්ති රණසිංහ)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ  අංක 2 අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 08ක් බර තඹ කම්බි රෝල් තුනක් රැගෙන අධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවෙන් පැනයාමට තැත්කළ දිවයිනේ ලියාපංදිංචි අපරාධකරුවෙකු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගෝතමී පාර, බොරැල්ල, කොළඹ 08 පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙසට නම් කර සිටින බෙනඩික් ඇන්තනි නොහොත් ‘රන්මල්ලී’ නමැත්තාය.

මෙම සැකකරු ඔහුගේ බිරිදට ඇප තැබීමට අධිකරණයට පැමිණ ඇති බවත් සැකකරුගේ හැදුනුම්පත නොමැතිවීම හේතුවෙන් ප්‍රජා විශෝධනයට පැමිණ සිටි අයකුට ඇප තැබීමට පවසා ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ මොහොතේදී එම ඇප තැබීමට පැමිණී පුද්ගලයා සතුව තිබූ මෙම තඹ බෑගය අධිකරණයෙන් එළියට රැගෙන ගොස් දෙන ලෙසට සැකකරුට භාරදුන් බැවින් ඔහු එය අධිකරණයෙන් පිටතට රැගෙන යද්දි පොලීසිය අත්අඩංගුවට ගත් බවත් සැකකරු ප්‍රකාශකළ බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සැකකරු ඊයේ (19) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තඹ කම්බි රෝල් සහිත පොහොර උරයක් රැගෙන පලායෑමට තැත් කිරීමේදීය.