(යොහාන් භාසුර)

බදුල්ල දිස්ත්‍රික්කයේ නමගිය දේශපාලනඥයකුගේ හිතවතුන් යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ව්‍යාජ ලේඛණ සකස්කර පස්සර කනවරැල්ල  වතුයායට අයත් මාවුස්සාගොල්ල ප්‍රදේශයේ ටර්පන්ටයින් ගස් 20කට අධික සංඛ්‍යාවක් කපා ඇතැයි එම වතුයායේ අධිකාරීවරයා නමුණුකුල පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අවසරයක් සහිතව මෙම බිම් කොටසේ ගස් කපා ඇති බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙම බිම් කොටස අයිති වුවත් මෙම වතු ප්‍රදේශය පෞද්ගලික අංශයට 99 අවුරුදු බදු මත පවරා ඇති බවත් එම වතුයායේ ප්‍රකාශකයකු පැවසීය.

ඒ හේතුවෙන් වැවිලි අමාත්‍යංශයේ අවසරයකින් තොරව  මෙම බිම් කොටයේ ගස් කැපීමට අයිතිය ලබාදීමට ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නොහැකි බව එම වැවිලි සමාගම සඳහන් කරයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත ටර්පන්ටයින් ගස් 20 ක් කපා තිබීම නිසා  නමුණුකුල පොලිසියට හෝ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද වාර්තා වේ.