ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ, දරුවන්ට පවතින උණ තත්ත්වය පැය 24 කට වඩා පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

විවිධ අත්බෙහෙත් කරමින් දරුවාට ප්‍රතිකාර කිරීමට ඇති වටිනා කාලය අපතේ නොයවා ළඟම ඇති රජයේ රෝහල වෙත දරුවා රැගෙන ගොස් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. වෛද්‍ය රත්නසේකර මහතා පැවසුවේ දැනට ඩෙංගු වැළඳුණු ළමයින් 50 දෙනෙකු පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය.

මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බවද ඔහු පැවසීය.

"විශේෂයෙන්ම කියන්න ඕනේ, ඈත ප්‍රදේශවල ඉඳලා දරුවාව රිජ්වේ ආර්යා ළමා රෝහලටම අරන් එන්න අවශ්‍ය නැහැ. බොහොමයක් මරණවලට ප්‍රධානතම හේතුව වෙන්නේ රෝහලට අරන් එන්න ප්‍රමාද වීමයි. උණ පැය 24 කට වඩා තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි. දින ගණන් ගෙදර ඉඳන් අත්බෙහෙත් කරලා, දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තියෙන වටිනා කාලය නාස්ති කරන්නේ නැතුව ඉතා ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හෝ රජයේ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම ඉතාම වැදගත්," යැයි ඔහු පැවසීය. රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනට වාර්තා වී ඇත්තේ එක් ඩෙංගු මරණයක් පමණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන්නේ අද වනවිට ඩෙංගු රෝගීන් 82011 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 61 ක් වාර්තා වී ඇති බවයි.

  • අජිත් සිරිවර්ධන