(තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල්වලට දරුවන් ඇතුලත් කර දිය හැකි බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ 54 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගත් ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.

යක්කල පදිංචි කාන්තාවක් වන මැයට මුදල් ලබාදීම සිදු කළ කිහිප දෙනෙකු ගම්පහ මූලස්ථාන පොලීසියට සහ යක්කල පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කොට ඇති බවත් දැනට ගම්පහ පොලීසියට පැමිණිලි තුනක්ද යක්කල පොලීසියට පැමිණිලි හතරක්ද ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

තම දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීම පිනිස රුපියල් ලක්ෂ 2 ලක්ෂ 3 ක් වශයෙන් මුදල් ලබාදී ඇති අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි දැනුවත් අයද මෙම වංචාකාරී කාන්තාවට මුලාවී සිටින බවද පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අතුකෝරල මහතාගේ අධීක්ෂණය මත යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.