(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ ගොඩගම ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම දැරියගේ සුළු පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (13) දින නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හයිලෙවල් පාර ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ්‍රි ලංකා යුධ හමුදාවේ පොදු සේවා බලකායේ වැටුප් හා ලේඛන අංශයේ සේවය කල වැලිවත්තගේ දිනිදු ලක්මාල් නමැති 43 හැවිරිදි යුද හමුදා ක්‍රෝපල්වරයෙකි.

පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිළධාරී හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මෙහිදී මීගොඩ පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.

පහරකෑමට ලක් වූ දැරිය එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි ද අනාවරණය වූ බව මෙහිදී පොලිසිය කරුණු දැක්වීය.