(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් විල්ගමුව හසලකප්‍රධාන මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ පැවැති දන්සලක් අවසානයේ එම ස්ථානයේ මත්පැන් සාදයක්පැවැත්වීම සම්බන්ධයෙන් හටගත් බව කියන ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පොරවකින් කෙටිම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

දන්සල අවසානයේ ඊට මූලිකත්වය ගෙන කටයුතු කළ බව කියන පිරිසක් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි පොලිසිය පවසයි.

ඊට පුද්ගලයකු විරෝධය පළ කළ අවස්ථාවේ ඔහුට එතැන සිටි දෙදෙනකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පහරදීම සිදුකර ඇතැයි කියන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන දෙදෙනෙක් යැයි කියති .

පහර කෑ පුද්ගලයා මේ බව ඔහුගේ පුතකුට දැනුම් දී ඇතැයි පොලීසිය පැවසී ය.

පහර කෑමට පුද්ගලයා ගේ පුතා ඔහුගේ මිතුරකු ද කැටිව ගොස් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදය පවත්වමින් සිටි බව කියන පිරිස සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.