(නිමල් ප්‍රේමචන්ද්‍ර)

කොබෙයිගනේ  දැදුරුඔය කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු අතුරුදන් වී ඇතැයි  කොබෙයිගනේ පොලිසිය කියයි.  

මෙහිදී පිරිමි පුද්ගලයන් සිව්දෙනකු, කාන්තාවන් තිදෙනකු හා පාසල් දරුවන් තිදෙනකු දියේ ගිලී ඇති අතර ඉන් එක් පුද්ගලයකු හා කාන්තාවක බේරාගෙන නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

එක් කාන්තාවකගේ සහ එක් පිරිමි පුද්ගලයකුගේ මෘත ශරීර සොයාගෙන ඇති අතර තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු, කාන්තාවක සහ පාසල් ළමුන් තිදෙනකු අතුරුදන් වී ඇත.

මරණකරු අවුරුදු 70 සහ මරණකාරිය අවුරුදු 34 වයස්වල පසු වූ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

අතුරුදන් වූ පිරිමි පුද්ගලයන් අවුරුදු 39 සහ 72 ක්, කාන්තාව අවුරුදු 42 ක් සහ පාසල් ළමුන් අවුරුදු 09, 13 සහ 18 වයස්වල පසු වූ කොබෙයිගනේ සහ උඩවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් සමඟ කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අතුරුදන්වූවන් සොයා කොබෙයිගනේ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ හා නාවික හමුදා කිමිදුම් නිලධාරින්ගේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් තව දුරටත් සිදු කරනු ලබයි.