(විමුක්ති එස්. රුද්‍රිගු)

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600ක් යළි සකස් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර ඇත.

ලෝක බැංකුව අද (30) මෙම මුදල අනුමත කර ඇති අතර, සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශවල වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ජනතාවට යළි ප්‍රවේශ වීමට උපකාර වන මාර්ග සඳහා ව්‍යාපෘතිය ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.

ප්‍රතිසංස්කරණය කරන මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකිරීමට නියමිත අතර, වැඩිදියුණු කළ ජල බැසයාමේ පද්ධති, නායයෑම් වැළැක්වීමේ ක්‍රම සහ දැඩි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි නව ඉංජිනේරු ක්‍රමවේදද ඊට ඇතුළත් වේ.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ මාර්ග ඇතුළු යටිතල පහසුකම්වලට දැඩි බලපෑමක් ඇති කළත්, යළි ගොඩනැගීමේදී වඩාත් ශක්තිමත් ඔරොත්තු දෙන යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට ඉන් අවස්ථාවක් ලැබී ඇතැයි ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකා කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් මහතා පැවසීය.

මෙම වැඩසටහන මාර්ග අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට ගොස් ජනතාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීම, ගොවීන් වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම සහ පවුල්, අත්‍යවශ්‍ය සේවා වෙත යළි සම්බන්ධ කිරීම අරමුණු කරන බවද ඔහු සඳහන් කළේය.