IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණු කොරියාවේ ජනාධිපති ධූරයෙන් නෙරපයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට නියෝග කර මාස 4 කට පසුව ජනාධිපති යුන් සුක් යෝල් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් නෙරපා හැරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (04) නියෝග කළේය.

ඒ සමග ජනාධිපති යුන් සුක් යෝල්ගේ කැළඹිලි සහගත ධුර කාලය නිමාවට පත්වූ අතර එය දකුණු කොරියාවේ ජනධිපතිවරණයක් පැවැත්වීම සඳහාද දොරටු විවර කළේය. 

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා දින 60 ක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. 64 හැවිරිදි යෝල් ජනාධිපති ධුරය සඳහා 2022 වසරේ තේරී පත්විමට පෙර ඉතාමත් ප්‍රසිද්ධ රජයේ නීතිඥවරයෙක් වූවේය. ඔහු දේශපාලනයට 2021 වසරේදී පිවිසි අතර වසරක් තුළ දකුණු කොරියානු ජනාධිපති ධුරය සඳහාද තේරී පත්විය.

ජනාධිපති යුන් සුක් යෝල්ගේ දෝෂාභියෝග නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ වැඩබලන අගවිනිසුරු  මූන් හුයොන්ග් බේ තීන්දුව දැනුම් දෙමින් ප්‍රකාශ කර සිටියේ දෝෂාභියෝගයට හේතුවූ යෝල්ගේ ක්‍රියා කලාපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඉන් දකුණු කොරියාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත්ය.එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ හේතුවෙන් විනිසුරුවන් අට දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ල පාර්ලිමේන්තුව සම්මත කළ දෝෂාභියෝග යෝජනාව ඒකමතිකව සම්මත කර ඇති බවය

එහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති යුන් සුක් යෝල් දකුණු කොරියාව හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම එරට නීති කීපයක් කඩකර ඇති බවයි.එසේම හදිසි නීතිය අවභාවිත කිරීමේ ඉතිහාසය යෝල් නැවත වරක් වර්ත්මානයට ගෙනවිත් ඇති බවත් ඉන් ජනතාව කම්පනයට පත්කර ඇති අතර සමාජය, ආර්ථිකය, දේශපාලනය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ අනෙකුත් සියලු ක්ෂේත්‍රවල ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙන බවත් මූන් හුයොන්ග් බේ ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සිය තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමග විරෝධතාකරුවෝ සතුටින් ඉපිළ ගියහ. ඒ සමග දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතය. එළැඹෙන ජනාධිපතිවරණයේදී පාලක ජනතා බලය පක්ෂය සහ විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර කරට කර සටනක් දැකගත හැකිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළකර ඇත.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය දෙසැම්බර් 3 වැනිදා දකුණු කොරියාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. හදිසි නීතිය පනවමින් එරට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයද හමුදාව යොදා අවහිර කළේය. එළෙස හමුදා බලය යෙදවීමට යෝල් කටයුතු කළත්  එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 190 දෙනෙකුට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව හිමිවූ අතර හමුදා නීතිය පනවා පැය 2 කට පසුව පාර්ලිමේන්තුවේදී පැවැති ඡන්ද විමසීමකදී වැඩි ඡන්ද 190 කින් එම නියෝගය පරාජයට පත් කිරීමට දකුණු කොරියානු මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබුණේය.

පළමු වතාවට පසුගිය 7 වැනිදා යුන්සුක් යෝල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ අතර එය සම්මත කර ගැනීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුවට නොහැකි විය. නැවතත් සතියකට පසුව නැවතත් යෝල්ට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආ අතර එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුවට හැකියාව ලැබුණේය. එම අවස්ථාවේදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

දෝෂාභාහියෝගය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වුවත් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීම සඳහා එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එය අනුමත කළ යුතුව තිබිණ. ඒ අනුව යෝල්ගේ දෝෂාභියෝග නඩු විභාගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විභාගයට ගත් අතර එය අවසන් කරමින් අද (04) තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව හමුදා නීතිය ප්‍රකාශයට පත්කරමින් දේශයට ද්‍රෝහි වූ බවට චෝදනා එල්ල කරමින් එම දෝෂාභියෝගය එරට විපක්ෂය පාර්ලිමේන්තුව ගෙන ආවේය. මේ පිළිබඳ විමර්ශනයක්ද පැවැත්වෙන අතර වරදකරු වුවහොත් මරණීය දණ්ඩනයට පවා මුහුණදීමට යුන් සුක් යෝල්ට සිදුවනු ඇත.



අදහස් (0)

දකුණු කොරියාවේ ජනාධිපති ධූරයෙන් නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site