(ශාන්ත චන්ද්‍රසිරි)

වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය සමරමින් සිටියදි තලවකැලේ, මිඩ්ල්ටන් වතුයායේ වතු නිවාස පෙළක ඇති වු ගින්නකින් වතු නිවාස 12ක් ඊයේ (15) රාත්‍රියේ විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 

ගිනි ගැනීමෙන් වතු නිවාස පේළියේ වතු නිවාස හතක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, තවත් වතු නිවාස පහක් අර්ධ හානියට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙම නිවාස පේළියේ එක් නිවසක පළමුව හටගත් ගින්නක් පැතිරීයාමෙන් අනෙකුත් නිවාසද ගිනි ගැනීමට ලක්ව ඇති අතර, වතු නිවාසවල පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ ගිනි ගැනීමට ලක්ව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

වතු නිවාස ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය කියයි. 

මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 49 කු අවතැන්ව ඇති අතර, ඔවුන්ගෙන් පවුල් තුනක පුද්ගලයන් තලවකැලේ දෙමළ මහ විදුහලේ සහ අනෙකුත් පිරිස ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව නවතා සිටිති.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.