(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට  යාපනය  කයිතඩි තල් පර්යේෂණායතනයේ නේවාසික පුහුණුව ලබාදීමට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා තීරණය කර ඇත.

මේ අනුව  එම විශ්ව විද්‍යාලයේ  පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  විසි දෙනෙක් ඒ  පුහුණුව සඳහා  යාපනයට  ළඟදීම පිටත්ව යති.

මෙම පුහුණු වැඩසටහනට අදාළ ගිවිසුම තල් සංවර්ධන මණ්ඩලයේ  සහ සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන්  අතර පසුගිය දා අත්සන් කෙරිණ.

මේ වැඩසටහන යටතේ ශිෂ්‍යයන් සඳහා  තාක්ෂණික හුවමාරු වැඩසටහන්,  නේවාසික පුහුණු වැඩසටහන් , ඒකාබද්ධ පර්යේෂණ කටයුතු සහ විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ගිවිසුම අනුව තල් සංවර්ධන මණ්ඩලයට, සබරගමුව විශ්වවිද්‍යාලයේ පිළිගැනීම ලැබෙන හෙයින් ඉදිරියේදී මෙම ආයතන දෙක එක්ව විශේෂ පර්යේෂණ රැසක්  කිරීමටද  නියමිතය.

තවද  තල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන්ට සබරගමුව විශ්වවිද්‍යාලයේ විශේෂ පුහුණුවක් ලබා දීමටද  සැලසුම් කර  ඇතැයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා පැවසීය.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ, නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරී ශ්‍රීවිජේන්ද්‍රන්, දිස්ත්‍රික් කළමනාකරු සශි කුමාර් යන මහත්වරුන්ද  සබරගමුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ආර්.එම් එස් .කේ  රත්නායක, පීඨාධිපති  මහාචාර්ය උදයකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.