(යොහාන් භාසුර)

ඇමෙරිකාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවලින් මෙරට රජයේ රෝහල්වලට පරිත්‍යාග කළ ඖෂධ සහ උපකරණ අඩංගු කන්ටේනර් දෙකක් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) නොසැලකිල්ල හේතුවෙන් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කොළඹ ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසූහ.

මෙම කන්ටේනර් දෙක නිදහස් කරගැනීමට අදාල බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද පළක් නොවූ බවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය රජයට හෝ සංවිධානවලට ලැබෙන පරිත්‍යාගවලට අනුමැතිය නොදීමෙන් විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති බවත් ස්වාමීන්වහන්සේ කීහ.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාද වීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ද විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව කී රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසුවේ මහජන මුදල් එසේ නාස්ති කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් අවදානය යොමුකළ යුතු බවත්ය.

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්‍ෂමතාව සහ නොසැලකිල්ල හේතුවෙන් විදේශවලින් ලැබෙන පරිත්‍යාග අහිමිවීමේ අවදානමක් ඇති බව කියන සුභූති ස්වාමීන්වහන්සේ රෝහල් සේවා මණ්ඩලය වසර 10 කට අධික කාලයක සිට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට රුපියල් කෝටි 5,000 ක පමණ ඖෂධ සහ වෛද්‍ය උපකරණ රෝහල් 400 කට පමණ බෙදාහැර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරති.

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියට එල්ල වන එම චෝදනාව පිළිබඳව එ අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී පැවසුවේ මෙරට පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව විශාල ගැටලු මතුව ඇති බවත් එම ගැටලු නිරාකරණය කිරීමෙන් තොරව අනුමැතිය දීමේ හැකියාවක් නොමැති බවත්ය.

පරිත්‍යාග ලෙස ලැබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල මෙරට නියෝජිතයන් සිටින අවස්ථාවලදී පරිත්‍යාගවලට අනුමැති දීමට එම නියෝජිතයන් විරුද්ධ වන බවත් එවැනි තත්වයන්වලදී අනුමැතිය ගැනීමට කාලයක් ගතවන බවත්ය.

මෙම කන්ටේනර් දෙක පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමේදී පැවසුවේ එවැනි බහලුම් දෙකක් පිළිබඳව නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නියමිත අනුමැතිය සහිතව ඒවා නිදහස් කරගැනීමට පැමිණි අවස්ථාවේදී පමණක් බහලුම්වල තිබෙන භාණ්ඩ ගැන රේගුව දැනුවත් වන බවත්ය.