(නිමල කොඩිතුවක්කු)

ඖෂධ හිගයට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඩොලර් හිගය බැවින් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ව තිබෙන රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම ඒ සඳහා ඇති  හොඳම විසදුම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (26) පැවසීය.

මේ තුළින් ඖෂධ හිගය මෙන් ම රටේ ඩොලර් අර්බුධයටත් විසදුමක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ නොමැතිව චීනයෙන් ඉන්දියාවෙන් ඇමෙරිකාවෙන් සහ යුරෝපා හවුලෙන් ණය ලබා ගැනීම ගැටලුවට විසදුම නොවන බවත් ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය, ඔසුහල් සහයකයින්ගේ සංගමය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් ඔහු පැවසීය.

හොරා කෑ රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල ලබා ගත යුතු වුවත් වත්මන් රජය ඒ වෙනුවෙන් කටයුතු කිරීම පිලිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ හොරා කන ලද සියලු මුදල් පැහැදිලි විනිවිධභාවයකින් යුක්තව නිසි වගකීමකින් යුතුව නැවත අත්පත් කර ගන්නා බවත් ප්‍රේමදාස මහතා කීවේය.