(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට වසර 10ක කාලසීමාවක් දක්වා වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මෙම වීසා නිකුත් කිරීමේ වැඩසටහන “රන් පාරාදීස වීසා වැඩසටහන” ලෙස නම් කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නට ආයෝජනය කරනු ලබන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද නාලක ගොඩහේවා මහතා පැවසීය.

විදේශ ආයෝජකයන් සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද දීර්ඝ කාලීන වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මීට පෙර ක්‍රියාත්මක කළ දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා පසුගිය වසරේ මාර්තු 7 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බවත්, එම ක්‍රමවේදය යටතේ ඉහත ක්‍රමවේද හඳුන්වා දෙන බවත් ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මීට අමතරව ශ්‍රී ලංකවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා නිකුත් කර ඇති සංචාරක වීසා බලපත්‍ර කාලසීමාවගාස්තු අයකිරීමකින් තොරව තවදුරටත් දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඔවුන්ගේ වීසා කාලය මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේ දී මාස දෙකකින් දීර්ඝ කෙරුණු අතර, දෙරට අතර පවතින අර්බුදකාරී තත්වය තවමත් සමනය වී නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.