(එච් එම් ධර්මපාල)

දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් සුපිරි හෝටල් පරිශ්‍රයක් අද දහවල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පෝලිසියේ ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක "යුක්තිය මෙහෙයුම " වැඩ සටහනට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් යොදවා විවිධ ව්‍යාපාර සිදුකරන බවට අනාවරණය කර ගැනීමෙන් පසු දෙහිවල වෙරළ තීරයේ ඉදිකර ඇති සුපිරි පන්නයේ හෝටල් පරිශ්‍රය නිරීක්ෂණය සදහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන මහතා ඇතුලු පොලිස් නිලධාරීන් ඉකුත් (20) වන දින ස්ථානීය පරීක්ෂණය සිදුකර එය 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනතට අනුව හදුනාගනු ලැබීය.

අනතුරුව එම අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතා ඇතුලු නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබීය .

ඒ අනුව ක්‍රියාත්මක වූ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොලීසියේ හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේද ආරක්ෂාව යටතේ  බැකෝ යන්ත්‍ර යොදාගන කඩා ඉවත් කිරීම සිදු කරනු ලැබිණි .