(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ( Fumio Kishida) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.
එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi), මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ (Taro Kono) යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතය.
ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවකි.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ , ඔය රටවල් දෙකේම ජනගහනය අහගන්න . කොලේක ලියා ගන්න. ඔය රටවල් දෙකේම අමාත්‍යංශ ගාණ අහගන්න. කොලේක ලියා ගන්න. ජනගහනය අමාත්‍යංශ ගණනින් බෙදන්න, එන උත්තරේ ලංකාවේ අගය එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තිබේ නම් වෙනස වෙනස් කරන්න.