(විමුක්ති එස් රුද්‍රිගු)

අප්‍රිකානු සංචාරය අවසන් කර චීනය බලා ගමන් කරන අතරතුර කෙටි වේලාවකට අද (12) මෙරටට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසුණේය.

අමාත්‍ය විජිත හේරත් මහතා සමග මුණගැසුණු චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ස්වභාව සෞන්ධර්යය නැරඹීම සඳහා කෙටි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූවේය. තමා ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්ධර්යයට දැඩිව ඇලුම් කරන බව ද මෙම කෙටි සංචාරය ශ්‍රී ලංකාව සංචාරය කිරීමට වඩාත් සුරක්ෂිත රටක් යන පණිවුඩය ලබා දෙන බව ද වැන්ග් යී මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

මීට අමතරව විදේශ අමාත්‍යවරුන් දෙපල අතර නිල සාකච්ඡාක් ද පැවැත්වුණු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බීජිං බලා විශේෂ ගුවන් යානයකින් පිටව ගියහ. එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව මෙන්ම මෙරටට වැඩි වශයෙන් චීන සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබිණි.