චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඇමෙරිකන් සංචාරයෙන් පසු, චීනය විසින් ඇමෙරිකාවට තෑගි කළ යෝධ පැන්ඩා වලසුන් දෙදෙනා, ඇමෙරිකාවට රැගෙන ඒම සිදුවිය.

‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ නමැති මේ පැන්ඩා යුවළ, පැය 16 ක ගුවන් ගමනකින් පසු, චෙන්ඩු ෂුවැංලියු ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට විශේෂිත ගුවන් යානයකින්, ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලන්ටා නුවර බලා රැගෙන ඒම සිදුවිය. 

ඉදිරි වසර 10 ක කාලයේ, ‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ පැන්ඩා වලසුන්ගේ නවාතැන වන්නේ, ඇට්ලන්ටා සත්ව උද්‍යානයේය. ‘පිංග් පිංග්’ පිරිමි සතකු වන අතර, ෆු ෂුවාං ගැහැනු සතෙකි. මොවුන් උපත ලබා ඇත්තේ 2020 වසරේදීය.

ඇට්ලන්ටා සත්ව උද්‍යානය මීට පෙර 1999 සිට වසර 25ක් පුරා පැන්ඩා වලසුන් සිටි අතර, 2024 වසරේ සිට එහි පැන්ඩා වළසුන් නැත. දැන් යළිත් වරක් පැන්ඩා වළසුන් සත්වෝද්‍යානයට ලැබීම සම්බන්ධයෙන් ඇට්ලැන්ටා වැසියෝ සතුට පළ කරති.

විදේශීය සබඳතා වර්ධනය කර ගැනීම සහ මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා චීන රජය දශක ගණනාවක් තිස්සේ ‘පැන්ඩා රාජ්‍යතාන්ත්‍රිකභාවය’ (පැන්ඩා ඩිප්ලෝමසි) යටතේ පැන්ඩාවන් රට රටවලට තිළිණ කිරීම සිදු කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින්, බිරිඳ ද සමග ඇමෙරිකා සංචාරයක නියැලුණේ ඉකුත් සතියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ උණුසුම් ලෙස පිළිගත් අතර, ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින මත ගැටුම් ගැනත්, ඇමෙරිකා ඉරාන යුද්ධය සහ යුක්රේන රුසියා යුද්ධය ගැනත් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය.