(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
60 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට විෂ සහිත ද්‍රාවණයක් මුහුණට ඉස පහර දී ඝාතනය කර රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ මෙහෙකාරිය අතුරුදන්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
පහර දීමට යොදා ගත් බවට සැක කරන අඩි තුනක් පමණ දිගැති පොල්ලක් අල්මාරිය උඩ තිබියදීත් ,පාවිච්චි කළ බවට සැකකරන මොර්ටින් අඩංගු බෝතලයක් මුළුතැන්ගෙයි තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය ලංසි යා වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් නසීර් මොහොමඩ් පාතිමා
කාන්තාවකි.
1219 දුරකථන අංකයට ද ලද පණිවිඩයක් අනුව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් අපරාධය වු නිවස වෙත ගොස් පරික්ෂා කිරීමේදී නිවසේ කාමරයේ ඇඳ අසල බිම දමන ලද මෙට්ටය මත කාන්තාවගේ මළ සිරුර දැක ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ වන විට එම කාන්තාවගේ මුහුණෙන් ලේ වැගිරෙමින් තිබී ඇති අතර දකුණු ඇහැට පහලින් තුවාලයක් දක්නට ලැබුණු බව පොලීසිය කියයි. කාමරයේ තිබෙන අල්මාරි හා අනිකුත් බඩු මුට්ටු අවුස්සා දමා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ දරුවන් විදේශගතව සිටින අතර මීට මාස හයකට පමණ ඉහතදී මෙම කාන්තාව තෙමහල් නිවසේ පහත මහලේ නිවසට කුලී පදනම මත පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .
සති 2 කට පමණ ඉහතදී ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පමණ අතුරුදන්ව සිටින මුස්ලිම් කාන්තාව
නිවසේ මෙහෙකාරකමට පැමිණ තිබූ බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි
සිදුවී තිබෙන ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාව මනසම අන්ධ කරනවනෙ. දැන් මනුස්ස ඝාතනයකුත් කරලා ඔය හොරකම් කරපු සේවල් වලින් ඒ කාන්තාව ට ජීවත් වෙන්න පුලුවන් ද ? කොයිවෙලේ හරි පොලිසිය ට අහුවෙලා සදාකල් හිරේ.