(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරැ කුමාර ජයකොඩි මහතාගෙන් අද (30) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කොමිසමෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ඔහු එම කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

ගල්අඟුරු ගනුදෙනු සහ ඒවායේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාලව ඔහුගෙන් මෙසේ දීර්ඝව ප්‍රශ්න කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ස්වාධීනව සහ කිසිදු බලපැමකින් තොරව කරගෙන යෑම සදහා අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉකුත් අප්‍රියේල් මස 17 වැනිදා ඉල්ලා අස්විය. හෙතෙම එම අමාත්‍ය ධූරයට පත් කෙරැණේ 2024 නොවැම්බර් 18 වැනිදාය.

කෙසේ වෙතත් කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් කටයුතු කරයි.

මේ අතර ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම තවත් හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

තවද ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාගෙන්ද මහාචාර්්‍ය උදයංග හේමපාල මහතා හිටපු ලේකම්වරුන් එම අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඇතුළු හැටකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයක් පමණ ලබාගෙන ඇතැයි ජනාධිපති කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන මහතා පැවසීය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 28කි.

මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

පැමිණිලිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තා කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබාදී තිබූ කාලසීමාව ඊයෙත් (30)අවසන් විය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඉකුත් 2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනයට මෙම කොමිෂන් සභාව පත් කෙරිණි.

කොමිෂන් සභාවේ නිලධාරීහු පසුගිය 14 වෙනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූහ.

මේ අතර මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 849 ක පමණ පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ.

කිසිදු නැවකින් මෙගොවොට් 300ක් නිෂ්පාදනය කළ නොහැකි යැයි වාර්තාවේ දැක්වෙන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා පැවසීය.

එසේම ඒවායේ අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව පැවසූ මන්ත්‍රීවරයා එම ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැතැයිද චෝදනා කළේය.

පසුගිය කාලයේ සිදු වූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දැඩි කතා බහක් ඇතිවිය.