(ඩයනා උදයංගනී)

බදු අඩුකිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබුණු වැරදි උපදෙස් හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටුණු බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය වසරේ දී රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් මත පනවා තිබූ ඉපයුම් බද්ද ඇතුළු බදු කිහිපයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමයේ අඩු කළ බවත්, කවුරුත් නොඉල්ලූ බදු අඩු කර රට ව්‍යසනයකට ගෙන ගිය බවට එදවස විපක්‍ෂය පවා චෝදනා කළ බවත් ඇමතිවරයා පැවසීය.

ක්‍රමානුකූලව රාජ්‍ය ආදායම් වැඩිකරගත යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය ආදායම පහත වැටුණු පසු අපි අන්තර්ජාතික ගණුදෙනු පියවීමට හා ආර්ථිකය පවත්වාගෙනයාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ආ යුතු බව කී ඇමතිවරයා එසේ නොකර රට පවත්වාගෙන යා හැකි විකල්පයක් නැතැයි ද කීවේය.