(මනෝප්‍රිය ගුණසේකර)

කුඩු ග්‍රෑම් 18 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු දෙදරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද නියම කළාය.
ඉතා දරුණු ලෙස රටේ ව්‍යාප්තව ඇති කුඩු ජාවාරම හේතූවෙන් තරුණ ප්‍රජාව බරපතල ලෙස විනාශ වීමේ දැඩි අවධානමක් මතුව ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බව අවධාරණය කරමින් බොරැල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම් කරමින් සිටියදී බොරැල්ල පොලිසීය විසින් මීට වසර 10කට පෙරදී අල්ලා ගත් කුඩු ජාවාරම්කාරියකට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.
විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලද්දේ බොරැල්ලේ පදිංචි කේ.එම්. ස්වර්ණමාලි හෙවත් නෝනා නමැති විත්තිකාරියටය
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් අදාළ චෝදනාවන්ට විත්තිකාරිය වරදකාරීය බව සඳහන් කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු දක්වමින් හෙරොයින් නමැති විෂ මත්ද්‍රව්‍ය හේතූවෙන් මේ වන විට අපේ රටේ තරුණ තරුණීයන් විශාල පිරිසක් විනාශයට පත්ව ඇතැයි පෙන්වා දුන්නාය.
එවැනි තත්වයක් තුළ මෙම වරද සුළුවෙන් තැකීමට හැකියාවක් නැතැයිද වරදේ ඇති බරලතල තත්වය හේතූවෙන් මෙය මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදක් බවට ව්‍යවස්ථාදායකය තීරණය කර ඇති හෙයින් විත්තිකාරියට උපරීම දඬුවම් නියම කරන්නැයි රජයේ නීතීඥවරිය ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරිය රටේ ඉතා දරුණු ලෙස කුඩු ජාවාරම ව්‍යාප්ත වීම හේතූවෙන් තරුණ ප්‍රජාව බරපතල ලෙස විනාශ වීමේ දැඩි අවධානමක් මතුව ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවට තර්කයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.