(රෝෂන් තුෂාර)

මත්ද්‍රව්‍ය කිලෝ 654 ක් ,ටී56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට පත්ව දින හතක් රඳවා ප්‍රශ්න කල ධීවරයින් පස්දෙනා තවත් දින 30ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් ගිනි අවි ඇතුළු නීති විරෝධීව අවි ආයුධ ආනයනය කිරීමේ ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන සාක්ෂි හෙළිවී ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවට මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශය නිලධාරීන් හා ත්‍රස්ත මර්ධන විමර්ශන විමර්ශන කොට්ඨාසය මගින් විශේෂ වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ අවසර ලබා දුන්නේය.

පසුගිය 12 වැනි දින දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් දස දෙනකු මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර ධීවරයන් පස්දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 8ක්, මැගසින් 15ක්, ටී පනස් හය ගිනි අවි දෙකක්, මිලිමීටර් 16 වර්ගයේ ගිනි අවි එකක් හා එම ගිනි අවි සඳහා භාවිතා කරන මැගසින් හතරක් සම්බන්ධයෙන් වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

එම ගිනි අවි සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478යි ග්‍රෑම් 326 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව දින හතක් රඳවා ප්‍රශ්න කළ සුජිත් කුමාර, දිල්හාර තිසේරා, මහේෂ් විජේසිංහ, ඉඳුනිල් ඇල්ලේ ගෙදර හා සුරේෂ් කුමාර සැකකරුවන් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සැකකරුවන්ට අමතරව මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ප්‍රවාහනයට ආධාර අනුබල දුන්නේ යැයි කියන නෙළුම් මාලක, ගිහාන් කල්හාර ,ගිහාන් මධු සංක, දිල්ෂාන් බදුගේ ,නදීෂාන් යන සැකකරුවන්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් එරෙහිව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ජාවාරම හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට අමතරව අවි ආයුධ ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවය.