(අංජුල මහික වීරරත්න)

කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ  කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ. 

කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මකය.නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සහ කොළඹ මහනගර සභාව එක්ව එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි. කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආවරණය වේ.

කොළඹ අගනගරය ලෝක මට්ටමේ නගරයක් බවට පත් කිරීම, සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් ඇති කරලීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම මෙම ව්‍යපෘතියේ අරමුණකි.