(උපාලි ආනන්ද)

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකුට පොලු මුඟුරුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. රත්නායක මහතාට  පැවරීමට කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් ඉන්දික ලොකුහෙට්ටි මහතා කටයුතු කළේය.

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස්  පරික්ෂක චමිල රත්නායක මහතා යටතේ එම විමර්ශන මෙතෙක් පැවැතියේය. 

සැරයන්වරයා ඝාතන නඩුව පසුගියදා කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංග සුජීව මහතා අධිකරණයට කියා සිටියේ කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා ද මෙම නඩුවේ පැමිණිළි පාර්ශවයේ සාක්කිකරුවකු බව අධිකරණය හමුවේ කියා සිටියේය.

එවන් පසුබිමක් තුල කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ පාලනය යටතේ පවතින කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින්ම  මෙම විමර්ශන කටයුතු සිදු කිරීමෙදී අපක්ෂපාතීත්වයේ විනිවිද භාවය පිළිබදව ප‍්‍රබල ගැටලුවක් පවතින බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ රංග සුජීව මහතා මෙම විමර්ශන කටයුතු කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමකට පවරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය

නීතිඥවරයාගේ එම කරුණු පිළිබදව  අවධානය යොමු කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විවෘත අධිකරණය අමතමින් සඳහන් කළේ රඔකැපුවැව සිද්ධියේ  විමර්ශන කටයුතු කැබිතිගොල්ලෑව පොලිසියෙන්  ඉවත් කර වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමකට පවරීම උචිත බවයි