(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේදී විවෘත කෙරිණි

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර ඇත. නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් කරා තැබූ සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකිය.

ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය කරනු ලබන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන් වන අතර, අප රටේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වේ.

මෙතෙක් කලක් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පාංශු දූෂණය, ජල දූෂණය සහ ගංවතුර අවදානම් ඇති කළ මෙම සුන්බුන්, මෙම ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ. මෙමගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම අවම වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ. පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් මෙම ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයට අමතරව,  නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් ද  ඉදිකර ඇත. "Clean Sri Lanka" වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර ඉන් රුපියල් මිලියන 150ක් දැනටමත් නිදහස් කර තිබේ.