(ගයාන් සූරිය ආරච්චි)

කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් බලෙන් ලබාගෙන  කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පලායාමට ඉඩ සැලසූ බව කියන එම පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්ය අංශය පවසයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා  සිර මැදිරියේ සිටි එක් සැකකරුවෙකුගේ බිරියකගෙන් එම රුපියල් ලක්ෂ දෙකක මුදල ලබාගෙන එය නඩු භාණ්ඩ ලෙස පොලිස් ස්ථානයට වාර්තා නොකර ඔහු සන්තකයේ තබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පලා ගිය සැකකරුවන් දෙදෙනා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය වූ දින  සැකකාර කොස්තාපල්වරයා උප සේවක රාජකාරිය යෙදීී සිටි පොලිස් නිලධාරියාගෙන් සිර මැදිරියේ යතුර ඉල්ලා සැකකරුවන් දෙදෙනා එළියට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නැවත සිර මැදිරියට දමා එහි ඉබි යතුරු නිසියාකාරව දමා නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇත.