(මනෝප්‍රිය ගුණසේකර)

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (12) නියම කළේය.

වසර 04 කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිලිගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කළේය.

2019 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු අකුරල මුහුදු තීරයේදී හෙරොයින් මත්දව්‍ය ග්‍රෑම් 83.654 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

විත්තිකරුවන් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු අකුරල මුහුදු තීරයේ සැකකටයුතු අන්දමින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර ඒ අවස්ථාවේදී එහි තිබී හෙරොයින් මත්දව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් පසුවව එහි සිටි විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය විය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර ඉරාන ජාතිකයන් 09 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවෝ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.