(ටී.කේ.ජී.කපිල)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" මැදුරෙහි (Saffe House ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනකු රදවා සිටින අතර , ඔවුන් අතරින් 17 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර , එයින් මෙම ගෘහ සේවිකාවන් දෙදෙනකුගේ ලියකියවිලි වල පැවති අඩුපාඩු නිසා ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි .

මෙම පිරිස භාර ගැනීම සදහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම සිදු වීම වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන් කීප දෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද , ඔවුන්ට ඒ සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අවසර ලබා නොදීම නිසා එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට බලවත් බාධා ඇති විය .