(තිළිණි ද සිල්වා)
 
ඇමෙරිකා එක්සත් ජනපද සහස‍්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා  ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06)නියම කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කරනු ලැබුවේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එම ගිවිසුමට එරෙහිව  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ සහ එස්.තුරෛරාජා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දන්වා සිටියේ මෙය මහජනතාවගේ දැඩි අවධානයට යොමුවූ නඩු නිමිත්තක් බැවින් මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා තමන් ඉල්ලා සිටින බවය.
 
තම  ඉල්ලීම් අගවිනිසුරුවරයා වෙත යොමු කරන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම සටහන් කරගත් ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.
 
ඉන් අනතුරුව පෙත්සම් ලබන  13 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
 
ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
 
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලයන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.මෙම ගිවිසුම හේතුවෙන් අප රටෙහි ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාවට , භෞමික අඛණ්ඩතාවයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ඉමහත් අගතියක් සිදුවේ.
 
මෙම ගිවිසුම සහ ඊට අදාළ තවත් ගිවිසුම් 2ක් ඇති බවද දැන ගන්නට ලැබිණි. යම් හෙයකින් මෙම ගිවිසුම් අත්සන් කළහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 , 12 (1) , 14 (1) යන වගන්තීන් සෘජුවම උල්ලංඝනය වේ.ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීයවේදීන්ට මෙරට කටයුතු කිරීමට හැකි වේ.තවද එක්සත් ජනපද ආරක්ෂක අංශයට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමට හැකි වීම , ඊට අමතරව ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථාන වලට මෙරට පුරවැසියන්ට ඇතුළු වීමට යම් බාධා කිරීම වලට ලක්වේ.

එබැවින්  මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත් , අදාළ ගිවිසුමට එළැඹීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙම ගිවිසුම මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරු පෙනී සිටියහ.

පෙත්සම ලබන 13 වැනිදා යළි කැඳවේ.