
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන,ගෑස්,ආහාර නොමැතිව එදා ජනතාව වින්ද දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත්- අනුර රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරාවුර් සහ අක්කරපත්තු සහ පොතුවිල් ජන රැලි අමතමින් පැවසීය.
2022 ජූලි මාසයේ දී තමා ආණ්ඩුව බාරගෙන පළමුවරට කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම බව කී ජනාධිපතිවරයා එම කන්න හතර සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා මුළුතැන්ගෙය පිරවීමට තමා කටයුතු කළ බව කීය.
මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගනයේ සහ පොතුවිල් හිදී "පුළුවන් ශ්‍රී ලංකා ජනරැළි ජනාධිපතිවරණ රැළි "පැවැත්වුණු අතර අක්කරපත්තුවේදී ජාතික කොංග්‍රසයේ 20 වන සම්මේලනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ජාතික කොංග්‍රසයේ සම්මේලනයට මට ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා. මේ සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා සම්බන්ධයෙන් මා අවධානය යොමු කරනවා මෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට කටයුතු කරනවා. ඔබ මට දෙන සහයෝගය අගය කරනවා. ජාතික කොංග්‍රසයේ ලාංඡනය වන අශ්වයාට සිලින්ඩරය එකතු කරගන්නැයි මා කියන්න කැමතියි.
බඩගින්නට ජාතියක් නැහැ. බඩගින්නට පක්ෂයක් නැහැ. එමෙන්ම බඩගින්නට ආගමක් නැහැ.මෙවැනි අවස්ථාවක අප සිතිය යුත්තේ රට ගැනයි .අප ගැන නොවේ. මම රට බාර ගන්න විට ගෑස් තිබුණේ නෑ .හාල් තිබුණේ නැහැ .පෝර තිබුණේ නැහැ. යල මහ කන්න වලට පෝර නැතුව ගොවීන් පාරට බැස්සා. මා රට බාර ගත්තේ මේවා මතක තියාගෙනයි .මගේ අරමුණේ බඩගින්න නැති කිරීමයි.
මම ජනපති වූ පසු හැම කන්නයම හොඳ අස්වැන්නක් ලැබුණා.එම වසර වල යල මහ කන්න දෙකම අප හොඳින් වගා කරනු ලැබුවා. ඒ අනුව මිනිසුන් ජීවත්වෙන්න පටන් ගත්තා. 2024 - 2025 යල කන්නයේත් එවැනිම අස්වැන්නක් ලැබුණා.
මම ගෑස් මෙන්ම ඉන්ධන ලබා දුන්නා මිනිසුන් ජීවත් විය යුතුයි.
මේ තරුණ ජීවිත වලට එළියක් පැමිණිය යුතුයි. මෙහි විශාල සෙනඟක් රැස්වී සිටිනවා. අවුරුදු දෙකකට පෙර වින්ද දුක අප අමතක කළ යුතු නැහැ.
ඒ අවස්ථාවේ වගකීම බාරගන්න කිසිවකුත් සිටියේ නැහැ.මා එදා විපක්ෂ නායකත් නොවේ. කවුරුත් බාර නොගත් අවස්ථාවේ මා බාර ගත්තා .වෙන කෙනෙකුන් හිටියා නම් මා බාර ගන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ මට හිටියේ මා පමණයි.එහෙත් මා බඩගින්න දැක්කා. ගෙවල්වල තිබෙන ප්‍රශ්න දුටුවා.ජනතාව දුක් විඳින හැටි දුටුවා. තරුණයන්ගේ බලාපොරොත්තු නැතිවන හැටි දුටුවා.ඒ නිසා මා රටේ වගකීම මා බාරගත්තා අභියෝගය බාර ගත්තා.හිටපු අගමැතිවරයෙක් ලෙස එය මගේ යුතුකම බව මා දුටුවා.
වෙනත් අයට එය කළ නොහැකි නම් මා එය කළ යුතු බව සිතුවා.මම අභියෝගය බාර ගෙන විසඳුවා.
අභියෝගය බාර ගන්න බැරි වූ අය දැන් කියන්නේ කුමක්ද? මම ද්‍රෝහියා බව කියනවා. මම හොරු ආරක්ෂා කරන්න පැමිණි බව කියනවා.
එහෙනම් ඇයි බාර ගත්තේ නැත්තේ. කොහෙද හැංගිලා හිටියේ. සජිත් හිටියේ කොහේද? එදා දිව්ව දිවිල්ලට ඔලිම්පික යන්න තිබුණා. දැන් රට බාරගන්න ඉල්ලනවා.බාර ගන්න ඕන වෙලාවේ රට භාර ගත්තේ නැහැ.
ඔවුන්ට මේ ප්‍රශ්න විසඳන්න ශක්තිය නැහැ.මගේ මිත්‍ර අනුර කුමාර ගැන කතා කරන්නවත් හොඳ නෑ.අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුත්ත කළා.
එදාට වඩා අද ජීවිතය හොඳයි.තවත් බඩු මිල අඩු කළ යුතුව තිබෙනවා. අප රුපියල ශක්තිමත් කළ යුතුව තිබෙනවා. එවිට බඩු මිල අඩු වෙනවා.
මා බාරගත් කාලයේ මේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 76 යි.අප රට බාර දෙනකොට එනම් 2019 දී ඩොලර් බිලියන 89යි. මා රට භාරගන්න විට ඩොලරයට රුපියල් 360 ක් ගෙවන්නට සිදුවුණා.
උද්ධමනය සියයට තිහකට වඩා වැඩි වී තිබුණා.මේ අවුරුදු දෙකේ අප ගත් පියවර නිසා ඒ තත්ත්වය වෙනස් වුණා.
අද දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84 ක් බවට පත්වී තිබෙනවා. අපේ උද්ධමනය සියයට දහයකට පහත බැස තිබෙනවා. මේ වන විට ඩොලරයට ගෙවන්නේ රුපියල් 300ක් පමණයි.රුපියල ශක්තිමත් වී තිබෙනවා.අපේ ආදායම වැඩි වෙලා තිබෙනවා.එමෙන්ම බඩු මිල අඩු වී තිබෙනවා.
අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89ක් කිරීම අපේ අරමුණයි.අපි පුලුවන් නම් එය ඩොලර් බිලියන 95ක් බවට පත් කරමු.රුපියල තවත් ශක්තිමත් කරමු.
අපට සහන දෙන්න පුළුවන් වන්නේ එතනින් තමයි.එය කරන්න මූල්‍ය අරමුදලේ මෙන්ම මිත්‍ර රටවල් දාහතක සහය ලැබෙනවා.ඔවුන්ගේ වැඩසටහනට මෙන්ම ඉලක්කයට අප අනුගත වී සිටිනවා.
රට ඉදිරියට ගෙන යාම සඳහා ආදායම සොයන්න තිබෙනවා. බදු වැඩි කළේ ඒ සඳහායි. අමාරු තීරණ ගෙන ඉදිරියට යාමට සිදුවී තිබෙනවා.ඒ ගිවිසුම කැඩුවොත් වන්නේ කුමක්ද? අයි.එම්.එෆ් .ගිවිසුම සංශෝධනය කරන බව සජිත් කියනවා.සංශෝධනය කළොත් වන්නේ කුමක්ද? අපට සහයෝගය ලැබෙන්නේ නැහැ.ඩොලරයට රුපියල් හාරසීයක් ගෙවන්න වේවි.ඇතැම් විට 450ක් වෙන්නත් ඉඩ තිබෙනවා.
එහෙම වුනොත් අපට ඉන්ධන නැහැ. පොල්තෙල් වලින් ජීවත් වෙන්න වේවි.එවැනි තත්ත්වයක් ඇති කරන්න සූදානම්ද?
අප පැමිණ තිබෙන්නේ වැදගත් සංධිස්ථානයකටයි.මෙතන සිට ඉදිරියට යනවාද? පසුපසට යනවාද? කියා ඔබ තීරණය කළ යුතුයි .රට හදන්න තව වසර තුන හතරක් අවශ්‍යයි. අප රට හදනවාද? නැවත පසුපසට යනවාද?
මෙය ඔබේ අනාගතය මිස මගේ අනාගතය නොවේ. ඒ නිසා මා ගැන සිතා නොව ඔබ ගැන සිතා ඡන්දය දෙන්න.
මේ වැඩසටහන් කඩා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? ඒ රටවල් අපට සහය දෙනවාද?
පරණ දේශපාලනය කර වැඩක් නැහැ.අප එකතුවී මේ ප්‍රදේශය දියුණු කරමු .කෘෂි කර්මාන්තය දියුණු කරමු.සංචාරක ව්‍යාපාරය දියුණු කරමු.හොඳ ආර්ථිකයක් හදමු.
අප ආණ්ඩුවක් යටතේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට එක වගේ සලකනවා.
කොරෝනා සමයේ ආදාහන ක්‍රමයෙන් මුස්ලිම් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවුණා. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය සහ මා ඊට සමාව ඉල්ලුවේ. මගේ ආණ්ඩුව එය නොකලත් ලංකාවේ වෙනත් ආණ්ඩුවක් විසින් එය කළ නිසා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මා ඒ සමාව ඉල්ලුවා. ඒ අය වෙනුවෙන් වන්දි ගෙවන්නට තීරණය කළා.
ආදාහනයට කැමති අය ආදාහනයටත් භූමදානයට කැමති අය භූමදානයටත් වෛද්‍ය විද්‍යාලයට දේහය දීමට කැමති අයට ඒ අනුවත් ක්‍රියා කරන්නට නීතියක් ගෙනෙන ලෙස මා අලි සබ්‍රි ඇමතිතුමාට දැනුම් දුන්නා.
අනාගතයේ එවැනි ප්‍රශ්න ඇති වන්නේ නැහැ. අප ඒ කාර්යභාරය සිදු කළා. ඒ සඳහා මා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,අලි සබ්‍රි, ඔබගේ නියෝජිත අතාවුල්ලා හිටියා. නමුත් මුස්ලිම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන පක්ෂ සිටියේ නැහැ.
මගේ මිත්‍ර හකීම් හෝ රිෂාඩ් බදුයුදීන් මුස්ලිම් අයිතිය ආරක්ෂා කිරීමේ මේ ඉල්ලීම කළේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එක්ක අපි වැඩේ කළා.
අපට මුස්ලිම් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන්.ජාතික කොංග්‍රසයට එය කරන්න පුළුවන්. ඒ ගැන බයක් තියා ගන්න එපා.දැන් තිබෙන්නේ අනාගතය ගැන සිතන්නයි. මගේ අනාගතයේ නොවේ.ඔබේ අනාගතයයි.
ඔබ ජීවත් වන්නේ කොහොමද කියා සිතන්න .ඒ ගැන සිතා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරය ගසන්න.එසේ කරන්න සූදානම් නැතිනම් ගෑස් සිලින්ඩරය නැතිව ජීවත් වන්න ලෑස්ති වෙන්න.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට අමතක වෙන ලෙඩක් හැදෙනවා. ඒකට කියන්නේ ඩිමෙන්ශියා කියලා. කවුරුත් පැනලා ගියේ නැහැ. අනුර කුමාර සහ ඩලස් ඉල්ලුවා ඒ වෙලාවේ. අනුරට හම්බ වුණා ඡන්ද 3 සහ ඩලස්ට ඡන්ද පනස් ගාණක්... ඒ වෙලාවෙ ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් දිනූවා නම් අද රට මීට වැඩිය හොඳ තැනක තියෙනවා.
අර්බුදයක් නැති කාලෙක ලොකුම පොලියට වැඩිම ණය කන්දරාවක් අරන් (වෙන විදිහකට රට කරන්න දන්නේ නැති නිසා) ඉතා කුඩා අර්බුදයකදී වුණත් රටේ විදෙස් ණය පොලි ගෙවාගන්න බැරි විදිහට මුළු රටම වැටෙන විදිහට අමාරුවේ දාපු රනිල් වැනි මනුස්සයෙක්ව මේ රටේ තවදුරටත් රාජ්‍ය පාලනය බාරදී තියාගත යුතුදැයි මේ රට බත්කන මහජනතාව තීරණය කළයුතුයි..!
අනුර රනිල්ට ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වා" රනිල් වික්‍රමසිංහ තමුන් කොහොම වුණත් තමුන් දරන තනතුරට ගැලපෙන ලෙස කතා කරන්න කියලා" අනුරට එහෙම කියන්න සිද්ධ වුනේ රනිල් රටපුරාම කියාගෙන යන රටේ ආර්ථික අර්බුදයේ මුල් අවස්ථාවේදී ගෝඨාභය සජිත්ට සහ අනුරට රට බාරදෙන්න කතා කළ අවස්ථාවේදී ඒ දෙදෙනාම පැනලා ගියා කියන රනිල්ගේ කතාවට උත්තරයක් හැටියටයි. ඒ ගෝඨාභය ලියූ පොතේවත් ඔහු අනුරට කතාකළ බව සඳහන් කර නැති නිසා...!
මෙයා හැම තැනම ඕක කියනවා පාලු ගෙයි වලං බිඳිනවා වගේ, හැබැයි ගෝඨාභයගේ පොතේම තියෙනවා අනුරට ආරාධනයක් නොකළ බව, අනුර ලියුමක් යැව්වා කියනවා, එහෙම ලියුමක් නොලද බව ගෝඨාභයගේ ලේකම් කෙනෙක් විගහට මාධ්‍ය ඉදිරියෙ කිව්වාට රනිල් මේ වපුරන බොරුව නිවැරැදි කරන්න උත්සාහ කරන්නේ නැහැ. ගෝඨාභය අනුරට අගමැතිකම දෙනවා කියලා විශ්වාස කරන අයෙක් ඉන්නවා නම් වහාම ඔලුව බලවා ගන්න..
ගෝඨා ඇතුළු රාජපක්ෂ කල්ලිය කලින්ම මෙයාව තෝරාගෙන පස්සේ බොරුවට ආරාධනා කරනවා, ඔය කියන බොරු කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රාජපක්ෂ පවුල අනුරට දෙයි අගමැති කම, තමන්ගේ පක්ෂයෙන් ජනාධිපතිකමට ඉල්ලපු ඩලස් පරද්දපු පොහොට්ටුවෝ, හැබැයි අද ඒ කරුමේ ගෙවනවා...!
ගොබල්ස් න්‍යාය එකම බොරුව නැවත නැවත කීමෙන් සත්‍ය බවට ජනතාවට පෙන්වීම. වසර හතලිහක් රනිල් කළ බොරුව විශ්වාස කරන්න එපා.. මේ වතාවේ එහෙට මෙහෙට පනින අයගෙන් අටවපු අටමගල් වලට ඡන්දය නොදී වෙනසක් කරමු...!
උද්ධමනය පාලනය, දේශිය නිල සංචිත පාලනය, ඩොලරයේ මිල පාලනය සියල්ලම මහ බැංකුව සතු වගකීම් වේ. කබ්රාල් ලොක්කා දේශපාලන ගේමකට අර නොඅදින්න සහ රාජ්‍ය ආදායම, රාජ්‍ය ණය යන දේ රජයේ මුදල් අමාත්‍යාංශය පාලනයෙන් තොරවීම නිසා සිදු වු දේ වේ. ඒ හින්දා නන්දලාල්ට ලැබිය යුතු credit ටික ඔබ ගැනීම අසාධාරණ නැද්ද?
ජනාධිපතිට කියන්න තියෙන්නේ පැනලා ගිය එක ගැනයි... ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, IMF ගැනයි හෙට රට වෙනුවෙන් මොනදේ කරන්නේ කියන එකේ හිස් ගෑස් සිලින්ඩරයක්... වගේ. ඔය කතා බාලාංශයේ ළමයින්ටවත් අවශ්‍ය කතා නෙවෙයි... එකම දේ කියනවා සජිත්, අනුර, ජයවීර කියන දේවල්වත් අහගෙන ඉගෙන ගන්න තියෙන්නේ...!
සුදුසු කෙනෙක් ජනතාව තෝරාගනීවි... එතෙක් ඉවසගෙන ඉන්න.
කවුරුහරි මේ මනුස්සයාට කියලා දෙන්න ණය ගෙවන්නේ නැතිව, තව ඩොලර් බිලියන 4ක ණයත් අරගෙන ගෑස්, පෙට්‍රල් දෙන එක මැජික් එකක් නෙවෙයි කියලා. ඒකම කියවනවා...
නහයෙන් අඬන්නේ නැතිව ඉන්න. මිනිස්සු තීරණය කරයි කාවද දිනවන්නේ කියලා.
ගෑස් සමාගම් වලින් නොමිලේ වෙළඳ දැන්වීම්වලින් රනිල්ට කොමිස් කීයද?
රටක් අමාරු තත්වෙකට වැටුණාම, මොන යම් හේතුවක් උඩ, සමහර විට වසංගත තත්වයක් වෙන්න පුළුවන්, යුද තත්වයක් වෙන්න පුළුවන්, ලෝක ආර්ථික ප්‍රවණතාවක් නිසා වෙන්න පුළුවන් ඉදිරියට ඇවිත් ඒ අභියෝගෙට මුහුණ දීලා රටේ ජනතාව බේරාගන්න එඩිතරකමක් විතරක් නෙවෙයි, දක්ෂකමක් වගේම ලොකු පිනක්. ඒ දේ කරන්න හැමෝටම බෑ. උඩ කයිවාරු ගහපු ජෙප්පෝ හැමදාම කලේ හැංගිලා ඉඳන් ගල් ගහන එක. ඒ අතින් ඔබ සිංහයෙක් ජනාධිපතිතුමනි....!
තමුන් කවුද කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රටම බන්කොලොත් කෙරුවේ දූෂිත දේශපාලුවෝ මිසක් වෙන කවුරුවත් නෙවෙයි. දූෂිත පවුල් පාලනේ ඔවුන්ව රකින විස්වාසවන්තම කෙනා රනිල්. හොරු, හොරු කොහොමටත් ගජ මිතුරෝ...!
රනිල් කියන්නෙ රටේ ආර්තිකය ස්ථාවර කළා කියලානේ. කොහොමද ඒවා කලේ? රනිල්ගේ පාලන කාලය තුළ ණය ගෙව්වේ නෑ. ණය නොගෙවා කල්දාගත්තා. ඒත් ඒ නොගෙවා හිටපු ණය ගොඩ අද ගොඩ ගැහිලා. ආර්ථිකය හැදුවා නම් ඒක මිනිස්සුන්ගේ සාක්කුවට, පොකැට්ටුවට, බඩට දැනෙන්න ඕනෑ. එහෙම වෙලත් නෑ. නිශ්පාදනය, අපනයනය වැඩිවෙලත් නෑ. ඉතින් කොහොමද රට දියුණුයි කියන්නේ...? මේ රට සජිත්ට බාරදිය යුතුයි. දෙවෙනියාට රනිල් හොඳයි. අනුර නායකයා වුණොත් මාස 6ක් රට දුවයි. ඉන්පස්සේ රට තවත් මියන්මාරයක් වීම වළකන්න බෑ...
ඒ අය හදපු පෝලිම් ඒ අය බලාගන්න ඕනෑ නේද?
පැනලා යන්න දෙයක් නැහැ. හොර මුලකට ආරක්ෂාව, රැකවරණය දෙන්න ඉදිරිපත් වෙන්න බැරි නිසා එය බාරගත යුතු නැහැ. හොරු නැවත ක්‍රියාත්මක වුණු ජනතාවගේ ඇස් අන්ධ වුණු අහිංසක දුවණිය නැති වුණා. ජනතාව ඉල්ලුවේ මහා මැතිවරණයක්.. රනිල් උන්නැහේ ජනතාව පාවාදුන්නා... ඉන් ගැලවෙන්න ඔහුට බැහැ.
මේ කියන විදියට පොල් කඩද්දී ඇස් පනාපිටම වැටෙන් එළියට ගිය කලටි පොලයක් අහුලලා වත්තට විසිකරපු නිසා හැමදාම රෑට රෑට හොරෙන් පොල් කඩන පොල් හොරෙකුට එක දිගටම වත්තේ මුර වැඩේ බාරදෙන්න ඕනෑ. ඒ මදිවට එයත් එක්කලා එකතුවෙලා ඉන්නේත් කම්බ හොරු. හරක් හොරු එහෙම. දුන්නොත් හොඳට හිටියි...
කිසිම කෙනෙක් පැනලා ගියේ නැහැ. රනිල් මහින්දයි නඩේ හොරු ටිකයි රට වටවෙලා හොරා කාපු නිසානේ රටට මෙහෙම දෙයක් වුනේ. මුන්ට හොරා කන්න රට වැටුනම. හොරා නොකාපු මොලේ තියෙන එකා රට ගොඩ ගන්නද කියන්නෙ. උඹලා හොරාකලා රට වැට්ටුවානම් දැන් ගොඩ ගනින් . රට විකුනම් නොකා. රනිල් කොහොමත් පරදිනවා. හිරේ යන්නත් වෙනවා. මහ ලොකු කෙරුමා රටෙන් භාගයක් විකුනලා, ගිනිපොලියට සල්ලි අරන් දැන් කියනවා රට ගොඩ ගත්තාලු. නහර මැරිච්ච උන් කියයි රට ගොඩ කියලා. මුන් හිතුවට රටේ දේපල බුක්ති විදිනවා. මුන්ව හිරේ දාපු දවසට තමයි රට ගොඩ.