(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ මහා සම්මෙිලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (21) සවස 2ට  උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අබේවර්ධන මහතා කීවේ මෙවර සම්මේලනයේ දී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුලත් කරන බවයි.

නවලොවට මුහුණ දෙමින් අනාගත පරම්පරාවට  පහසුවෙන් රට  ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස  කරන බව කී අබේවර්ධන මහතා මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහාද ව්‍යවස්ථාවෙි  සංශෝධන ඇතුළත් ව තිබෙන බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයෙන් පසු ව සියලු ජාතීන්,ආගම් , ජන කොටස් මෙන් ම තරුණ පරපුර ඉදිරියට ගැනීම සඳහා ලංකාව පුරා නව ගමන් මගක් ජනාධිපති,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරන බව ද එජාප සභාපතිවරයා කීය.

එජාපය මෙම විශේෂ මහා සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස බවද අතීත අභියෝග ජයගත්තා සේ අනාගත අභියෝග ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.