(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක සීමා පැනවීම වැනි ඉලක්කගත ජාත්‍යන්තර සම්බාධක පැනවීම් සලකා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සිය නවතම වාර්තාව මගින් ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ කර තිබේ.

බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තර නීතියට අනුකූල වන පරිදි පුළුල් වගවීම් ක්‍රියාමාර්ගය කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මෙම සම්බාධක පැනවීම ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ කර ඇත.

වගවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය නොමැති අවස්ථාවක ජාත්‍යන්තර යාන්ත්‍රණ භාවිත කිරීමේ අවශ්‍යතාවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාව මගින් අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවක ජාත්‍යන්තර අධිකරණ බලය භාවිත කිරීම, අන්‍යෝන්‍ය නීතිමය ආධාර ලබාගැනීම සහ සුදුසු පරිදි වෙනත් ජාත්‍යන්තර ක්‍රමවේද හරහා, නඩු පැවැරිය හැකි වෙනත් රටක අධිකරණ ක්‍රියාපටිපාටි මගින් සිදුකෙරෙන විමර්ශන, නඩු පැවරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදීමද මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කළ සංස්කරණය නොකළ නව වාර්තාවේ මෙම නිර්දේශ ඇතුළත් වන අතර, දේශීය යාන්ත්‍රණ හරහා යුද සමයේ සිදුවූ බව කියන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ ප්‍රමාණවත් ප්‍රගතියක් තවමත් නොමැති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේදී වධහිංසා පැමිණවීම් සහ අමානුෂික ලෙස සැලකීම් පිළිබඳ සිදුවීම් 602 ක්ද, මෙම වසරේ අප්‍රේල් වන විට තවත් සිදුවීම් 138 ක්ද වාර්තා කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එමෙන්ම, පසුගිය වසරේ අත්අඩංගුවේ පසුවද්දී සිදුවූ මරණ පිළිබඳ පැමිණිලි 18 ක් සහ මේ වසරේ අප්‍රේල් වන විට තවත් එවැනි මරණ 3 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවද මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වගවීම් ව්‍යාපෘතිය සතුව මේ වනවිට සාක්ෂිකරුවන් සහ මූලාශ්‍ර 500කට වැඩි පිරිසකගෙන් ලැබුණු තොරතුරු ඇතුළත් අයිතම 123,000කට අධික ප්‍රමාණයක් පවතින බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

එම ව්‍යාපෘතිය මිනීමැරුම්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, වධහිංසා සහ ගැටුම් සමයේ ඇතිවූ ලිංගික ප්‍රචණ්ඩත්වය වැනි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද වාර්තාව පෙන්වා දෙයි.

එවැනි පියවර මේ මොහොතේ ශ්‍රී ලංකාවට එරෙහිව පුළුල් ආර්ථික සම්බාධක පැනවීමක් නොවන නමුත්, චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට රටවල් දිරිමත් කිරීමක් ලෙස සැළකිය හැක.

නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවට පොරොන්දු වී තිබුණද ශ්‍රී ලංකා රජය තවමත් මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එමගින් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා ගොනු නොකර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම් සිදුවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් රජයේ නිරීක්ෂණයට ලක්වීම සම්බන්ධයෙන් තවමත් වාර්තා වන බවත් චෝදනා 16ක් ඒ පිළිබඳව ලැබී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

“විධායක බලය අනිසි ලෙස භාවිත කිරීම, මර්දනකාරී නීති, රැඳවුම් අතරතුර සිදුවන ප්‍රචණ්ඩත්වය සහ දිගුකාලීන දඬුවම් නොලැබීමේ සංස්කෘතිය වැනි දශක ගණනාවක් පුරා පැවති ගැටලු වෙනස් කිරීමට මෙම රජයට තවමත් අවස්ථාවක් තිබෙන බව වාර්තාව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.

යුද සමයට සම්බන්ධ සිදුවීම් පිළිබඳව සහ දූෂණ සිදුවීම් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වාර්තාව ශ්‍රී ලංකාව දිරිමත් කරන අතරතුර ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ පැවති දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීමට තවත් බොහෝ දේ ශ්‍රී ලංකාව කළ යුතු බවද ටර්ක් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතියක් පෙන්නුම් කළත් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව දැනට පවතින නෛතික ක්‍රියාපටිපාටීන්, විශේෂයෙන්ම ඒවා ජාත්‍යන්තර නිසි නීතිමය ක්‍රියාපටිපාටිය සහ සාධාරණ නඩු විභාග ප්‍රමිතීන්ට අනුකූල නොවීමේ අවදානම සහ මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

විත්තිකරුවන් 22 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉවත් වීම හේතුවෙන් ඵලදායී නීති නියෝජනයක් නොමැති වීම හෝ නීති නියෝජනයක් සම්පූර්ණයෙන්ම නොමැති වූ කාලපරිච්ඡේද පැවතීම, පවුලේ සාමාජිකයන්ට විත්තිකරුවන් හමුවීමට ඇති බාධා සහ සීමා කිරීම්, සහ අධිකරණ කටයුතු සඳහා මහජනතාවට ප්‍රවේශ වීමට නොහැකි වීම එම ගැටලුවලට අයත් වන බවද එහි දැක්වේ.