
(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු කොරියාව යුක්රේනය සමග යුද වැදීමට සිය හමුදා රුසියාවට යවා ඇති බවට දකුණු කොරියානු ජාතික බුද්ධි අංශ සේවාව නිකුත් කළ වාර්තාව තහවුරු කරමින් නැගෙනහිර රුසියාවේ හමුදා පුහුණු කඳවුරක දී උතුරු කොරියානු සොල්දාදුවන් නිල ඇඳුම් සහ ආම්පන්න බාරගනු ලබන වීඩියෝවක් යුක්රේන බුද්ධි අංශ විසින් සී.එන්.එන් පුවත් සේවය ලබා දී ඇත.
වීඩියෝ පටයේ සිටින සොල්දාදුවන් කොරියානු භාෂාව කතා කරන බවට තහවුරු වී ඇතත් ඔවුන් කතා කරන්නේ කුමක් පැහැදිලිතාවයක් නොමැති බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. රුසියාවට පැමිණි අවස්ථාවේ කොරියානු සොල්දාදුවන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඇති බවත් එහි ඔවුන් පළඳින තොප්පි, හිස් ආවරණ, නිල ඇඳුම් සහ සපත්තු වල ප්‍රමාණයන් පිළිබඳ විස්තර අසා ඇති බවත් එම පුවත් සේවය ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් සංසරණය වන බවත් එම වීඩියෝවේ උතුරු කොරියානු සොල්දාදුවන් රුසියානු චීන දේශසීමාව ආසන්නයේ තිබෙන සර්ගිවුකා පුහුණු කඳවුරට පැමිණෙන අයුරු දැක්වෙන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. එසේම උතුරු කොරියාව සිය සොල්දාදුවන් රුසියාවට යවා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බවද එම පුවත් සේවය පැවැසුවේය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් නේටෝ සංවිධානය, ප්‍රංශය සහ ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තා සහ චෝදනා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් එම තොරතුරු සත්‍ය නම් මෙය යුක්රේනය සහ රුසියාව අතර ඇති අර්බුදය නව අදියරකට ගෙන යාමක් බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රට යුද්ධයකට ඇදගෙන ගොස් සිය රටවැසියන්ට සමූල ඝාතන දාමයකට මුහුණ පාන්නට සකස් කළ සෙලෙන්සි යුක්රේනියානු පරම්පරා ගණනාවක ශාපයට ගොදුරු වනු ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමුණා නම් යුක්රේනයට මෙතරම් හානියක් නොවෙන්නට ඉඩ තිබිණි. අද ලෝකය දිවෙන්නේ සාධාරණ අසාධාරණ කම් මත පමණක් නොව බල ගතිකත්වය හෙවත් පවර් ඩයිනමික්ස් අනුව බව ඔහු නොදත්තේය. එමතුද සෙලෙන්සි තම රටේ යුද ශක්තිය රුසියාවේ යුද බලයේ අනුපාතයට අනුව කෙතරම් දැයි නොදත්තේය. ඔහු සිතුවේ "උදව් කරන්න" යැයි කෑගැසූ පමණින් යුරෝපය සහ ඇමරිකාව පැමිණ රුසියාවට පහර දෙනු ඇති බවයි. අනුන්ගේ පහනින් පැතූ එළිය සෙලෙන්කිට ලැබී නැත. ලැබෙන්නේද නැත. ඊශ්‍රාලයට අභියෝග කර ගේම ඉල්ලූ පලස්තීන, ඉරාන, ඉරාක, ලෙබනන් ආදී මුස්ලිම් රටවලට සිදුවන දේත්, රුසියාවෙන් ගේම ඉල්ලූ යුක්රේනයට සිදු වන දේත් අතර වැඩි වෙනසක් දැකිය නොහැකි වනු ඇත...