(අංජුල මහික වීරරත්න)

eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වලට අදාලව මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වලට අදාල මුදල් ගනුදෙනු සඳහා අතන්‍යතාව අනාවරණය නොවන ලෙස බහුලව භාවිත කෙරෙන බව නිරීක්ෂණය කරනු ලැබ ඇත.

එවැනි ගනුදෙනු වල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු පියවරයන් පිළිබඳව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුක්තව කමිටුවක් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා පොලීසිය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් සකස් කරනු ලබන දත්ත පද්ධතියක් හරහා අදාල නීති විරෝධී කටයුතු වැලැක්වීමට සහ එවැනි කටයුතු වල යෙදෙන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.