හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, තමන් සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගැනීමට ඉරානයට නොහැකි වුවහොත්, දිගට හරහට පහර දී ඉරානය එක රැයින් විනාශ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇගවීමක් කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්, එකගත්වයක් ඇති කර ගැනීමට ට්‍රම්ප් ඉරානයට අද (7) රාත්‍රී අට තෙක් කල් දී තිබුණු බව ද මාධ්‍ය වාර්තා කළේය. ඉරානය එකගාවකට නොපැමිණියහොත්, යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ආදිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද ට්‍රම්ප් අනතුරු අගවා තිබුණි.

ඇමෙරිකා ජනාධිපති ඉරානයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ආදිය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ නම්, එම ප්‍රහාරවලට තමන් ද හවුල් වන බැවින් පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් වළකින්නැයි ඊශ්‍රායලය ඉරාන වැසියන්ට කල් තියා අනතුරු අගවා තිබුණි.

මේ අතර, සෞදි අරාබිය සහ බහරේනය යා කරන ‘කිංග් ෆාඩ් කොස්වේ’ පාලම ද දින නියමයක් නොමැතිව වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, ඉරානයෙන් එල්ල වන තර්ජන හේතුවෙනි. කිලෝමීටර් 25ක් දිගු මෙම පාලම, සෞදි අරාබිය සහ බහරේනය යා කරන එකම ගොඩබිම් මාර්ගය වන බව සඳහන් වෙයි.

ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකාව පහර දුන්නොත්, තමන් ඇමෙරිකන් හිතවාදී ගලෆ් රටවල පාලම්වලටත්, විදුලි බලාගාර සහ ජල පිරිපහදුවලටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය. සෞදි අරාබිය සහ බහරේනය යා කරන ‘කිංග් ෆාඩ් කොස්වේ’ පාලම වසාදැමීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ මේ නිසාය. යම් හෙයකින් ඊට ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහා විනාශයක් සිදුවීමේ අවදානමක් ඇතැයි සෞදිය පවසා ඇත.