(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තබා කමේනිට උතුරු කොරියාවේ සහාය හිමිවන බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පසුගියදා වාර්තා කළේය.

එසේම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කරන ප්‍රහාර නීති විරෝධී බවත් උතුරු කොරියාව එම ප්‍රහාර හෙළා දකින බවත් එම පුවත් ඒජන්සිය පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එලෙස ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව කණස්සල්ල පළකරන බවද උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එරට මධ්‍යම පුවත් ඒජන්සිය මෙම පුවත වාර්තා කළේය. මොජ්තබා කමේනි නව උත්තරීතර නායකයා ලෙස තෝරා පතක්ර ගැනීමට ඉරානයට අයිතියක් තිබෙන බවත් උතුරු කොරියාව එම අයිතිය ගරු කරන බවත් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ 12 වැනි දවස වූ අද උතුරු කොරියා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රකාශය නිකුත් කර තිබූ අතර වැඩි දුරටත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මැර කණ්ඩායමක් ලෙස මැද පෙරදිග කලාපයේ කටයුතු කරන බවයි.