ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට එක් වී ප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනය වූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත.

ඉකුත් පෙබරවාරි 28 වැනිදා එල්ල වූ එම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් කමේනී ජීවිතක්ෂයට පත් වුවද, ඒ වනවිට පැවැති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව වහාම භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය. ඒ අනුව, අභාවයෙන් මාස 4 ක් ඉක්මවා ගිය පසු සිය උත්තරීතර ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව මේ වනවිට ඉරාන වැසියන්ට උදාවී ඇතැයි පැවැසෙයි. 

ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය, තෙහෙරාන් අගනුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර තිබුණි.

කමේනීට අවසන් ගෞරව දැක්වීට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉරාන විප්ලවීය බළකායේ වැඩබලන ප්‍රධානී අහ්මඩ් වහීඩි ඇතුළු ඉරානයේ දේශපාලන හා හමුදා නායකයෝ රැසක් එක්ව සිටියහ.

වසර 37ක් පුරා ඉරානයට නායකත්වය දුන් කමේනීට අවසන් ගෞරව දැක්වීම සඳහා රටවල් 33 ක නියෝජිතයින් ද තෙහෙරානයට පැමිණි බව වාර්තා වේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම රුසියාව, චීනය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, තුර්කිය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නියෝජිතයෝ ද එම පිරිස අතර වූහ.

කමේනීගේ අවමංල්‍යය හේතුවෙන් තෙහෙරාන් නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දින කිහිපයකට වසා දමා ඇති අතර, ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන සීමාවන් පනවා ඇත. 

නගරයේ ආරක්ෂාව උපරිමයෙන් තර කර ඇති අතර, ගුවන් සීමා ද තාවකාලිකව වසා දැමුණි. කමේනිගේ දේහය තෙදිනක් තෙහෙරාන් අගනුවර මහජන ගෞරවයට තැබීමෙන් පසු, ඉරානයේ ෂියා දහමේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත දේහය රැගෙන යනු ඇත.

ඉන්පසු, අසල්වැසි ඉරාකයේ පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්,  කමේනිගේ උපන් නගරය මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන මෂාඩ් නුවර ඉමාම් රේසා දේවස්ථානයේදී දේහය භූමදානය කෙරනු ඇත.