(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉනාමලුවේ  අයි ඕ සී ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාදී තොග  අවසන් වීමෙන් පසුව භූගත ටැංකි විවෘත කර පෙන්වන ලෙස ඉල්ලා ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පස්දෙනෙක්  අද අළුයම සැකපිට සීගිරිය පොලීිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් දඹුල්ල, ඇටවරාහේන, සිගිරිය, කන්තලේ, සහ ගිරිතලේ, ප්‍රදේශ්යේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි

එමෙන්ම ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන ක්‍රමානුකූලව පෝලිමේ රැඳී සිටි සියලු දෙනාට ලබා දෙමින් සිටියදී මාධ්‍යම රාත්‍රිය වන විට පෙට්‍රල් අවසන් වී ඇතැයි පොලිසිය කියයි.

ඉන්දන අවසන් වූ බව නිවේදනය කිරීමත් සමග එහි සිටි පිරිසක් පොලිසිය හමුදාව සහ ඉන්ධන පිරවුම්හල් සේවකයන් සමග බහින් බස් වීමක් ඇති ව එය ගැටුම්කාරී තත්ත්වයකට පත්වූ බව පොලිසිය කියයි.

රාත්‍රිය වන විට සංවිධානාත්මකව මාර්ගය වසා සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනයට බාධා කරමින් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන නොමැති නම් භූගත ටැංකි විවෘත කොට ඔවුන්ට පෙන්වන්නැයි ඉල්ලා කෑ කෝ ගසමින් විරෝධතාවයේ නිරත වන්නට විය.

ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ මින් ඉදිරියට ඉන්ධන ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවය .දවස පුරා ඔවුන් දැඩි වෙහෙසක් දරමින් ඉන්ධන ලබා දී මධ්‍යම රාත්‍රිය වන විට මේ ආකාරයෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට ආරක්ෂක නිලධාරීන්ට පිරවුම්පොලට ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නේ නම් මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදු කිරීමට නොහැකි බවය.