(යොහාන් භාසුර)

ඉන්ධන හිඟයක් අද (3) දිනයේ රටපුරා පැවතීම නිසා ජනතාව ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල රැදී සිටිය ආකාරය දැකගත හැකිවිය.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොතිබුණු අතර පෙට්‍රල් ලබාගැනීමට ද ජනතාවට දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුවූහ. ඇතැම් ප්‍රදේශවල පෙට්‍රල් පෝලිම් කිලෝමීටර ගණනින් දිගු වී තිබූ ආකාරය ද දැකගත හැකිවිය.  

ඇතැම් ප්‍රදේශවල ජනතාව පැය හතර, පහ පෝලිමේ රැදී සිටීමෙන් පසුව ඉන්ධන තොග අවසන් යැයි පවසා හරවා යවා ඇති අතර මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්වූහ.

බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකුගෙන්  කළ විමසුමකදී පැවසුවේ ඩීසල් හිඟයක් නොමැති බවත් දින තුනකට ආසන්න කාලයක් ඉන්ධන ප්‍රවාහන නොකිරීමෙන් පිරවුම්හල් වසා තැබීමෙන් ජනතාව විශාල ප්‍රමාණයක් එකවර ඉන්ධන ලබාගැනීමට පැමිණීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.

වැඩවර්ජනයේ යෙදී සිටි පෞද්ගලික ඉන්ධන බවුසර් රථ ද ඊයේ පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ප්‍රවාහනයට එකතු වූ බවත් අඛණ්ඩව ඉන්ධන සැපයුම ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)