( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවන කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පවසයි.

අංක 1043 දරණ ඇල්ල ඔඩිසි  දුම්රිය අඹේවෙල සිට පස්වරු 1.30ට ගමන් ආරම්භ කර පස්වරු 4.15ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වන බවත්, අංක 1044 දරණ ඇල්ල ඔඩිසි දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.45ට ගමන් ආරම්භ කොට පෙරවරු 10.58ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව සමරසිංහ මහතා කීය.

ලැබෙන මගී ඉල්ලුම අනුව ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ධාවන වාර ගණන ඉදිරියේදී වැඩි කිරීමට සැලසුම් කොට ඇති බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල නාවලපිටිය සිට හැටන් අතර සහ මහනුවර සිට වත්තේගම අතර දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බවත්, ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස්වල දුම්රියන් ධාවනය වන්නේ පළමු වතාවට බව  සමරසිංහ මහතා කීය.

ඒ අනුව හැටන්- නාවලපිටිය අතර දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.00ට පිටත් වී පෙරවරු 06.29ට නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ළඟා වන අතර, නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.12ට පිටත් වී පස්වරු 03.11ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.

මහනුවර- වත්තේගම අතර දුම්රිය වත්තේගම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.45ට පිටත් වී පෙරවරු 06.30ට මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිත අතර, මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.00ට පිටත් වන දුම්රිය වත්තේගම දුම්රිය ස්ථානය වෙත පස්වරු 02.39ට ළඟා වීමට නියමිතව තිබේ.