(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාරවල රැඳවියන් තුන්දහසකට වැඩි පිරිසක්(3371ක්)ඇප තැබීමට සහ දඩ ගෙවීමට මුදල් නොමැතිව වසර ගණනාවක් තිස්සේ ඒවායේ නිකරුණේ රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර 28ක සිරකරුවන් 1940 දෙනෙකු සිටින අතර ඇප මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර 21 ක රැඳී සිටින රැඳවියන් සංඛ්‍යාව 1431කි.

බන්ධනාගාරවල තදබදය වැඩිවීමට මෙය ප්‍රධාන හේතු සාධකයක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම නිදහස්ව යෑමට නොහැකිව පීඩනයට පත්වන මෙවැනි පිරිස් බන්ධනාගාරවල අරගලවලට මූලිකත්වය ගැන කටයුතු කරන බව පෙනී ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

බන්ධනාගාරවල නිකරුණේ රැඳී සිටින මෙම රැඳවියන්ගේ ආහාරපාන ඇතුළු පහසුකම් වෙනුවෙන් රජයට විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමටද සිදුව ඇති බව බන්ධනාගාර ප්‍රධානීහු පෙන්වා දෙති.

ඇප නියම වී මාස පහකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරවල රැඳී සිටින රැඳවියන් සංඛ්‍යාව 325ක් බවත් දිවයින පුරා බන්ධනාගාර ආයතන 21 ක ගිය වසර වනවිට මෙම තත්ත්වය දක්නට ලැබුණු බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මුදල් නොමැතිකම මෙන්ම සමහර අවස්ථාවලදී ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම සහ ඇප තැබීමට ඥාතීන් ඉදිරිපත් නොවීම යන හේතුද මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබූ බව විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සමහර අවස්ථාවලදී මෙවැනි තත්වයක් දක්නට ලැබෙන බවයි.

මෙම ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති පොදු සමාව පිරිනැමෙන අවස්ථාවලදී මෙවැනි රැඳවියන්ට විශේෂ අවධානය යොමු කර මුදා හැරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.