(යොහාන් භාසුර)

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්යෙන් රටට උගත් බුද්ධිමත් පරපුරක් නිර්මාණය වූ බවත් එතුමාගේ නිර්මාණයක් වන කොළඹ වරායේ ජයබහලු පර්යන්ථයෙන් ආර්ථිකය ශක්තිමත් වූ බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (23) පැවසීය.  

කොළඹ වරායේ ජයබහලු පිවිසුම ඉදිරිපිට පිහිටි හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පිළිරුව අසළ දී අද (23) පැවැති ඒ මහතාගේ 33 වැනි ගුණසමරු උත්සවයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා එසේ පැවසීය.

සිංහල, දෙමළ සහ මුස්ලිම් බේදයකින් තොරව මෙරට නායකයන් 120 ක් පමණ ඉතිහාසය පුරා ඝාතනයට ලක්ව තිබීම නිසා රටට තුළ නායකයන්ගේ දැඩි අඩුවක් ඇති බවත් වර්තමාන දේශපාලන වාතාවරණය තුළ වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් එකතුව සිටීම වඩාත් වැඳගත් බවත් අබේවර්ධන මහතා කීය.

එසේ එකතු නොවී වෙන්ව සිටිය හොත් ජාතික දැඩි අනතුරකට මුහුණ දෙන බවත් ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් ගොඩනැගූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි ආර්ථික වශශයෙන් වඩාත් වැඳගත් ආයතන රැකගැනීමට නම් සියලුම දෙනා සමගින් කටයුතු කළ යුතු බවත් වජිර අබේවර්ධන මහතා කීය.