(විමුක්ති එස්. රුද්‍රිගු)

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගනිද්දී මෙරට ජනගහනය සියයට 0.7 කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ 2026 සමාජ ආර්ථික දත්ත ප්‍රකාශන වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසර මැද භාගය වනවිට මෙරට ජනගහනය මිලියන 21.75 ක් බවට ඇස්තමේන්තු කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 55ට වැඩි ජනගහනය පසුගිය වසරේදී ලක්ෂ 51.9 දක්වා ඉහළ ගොස් ඇති බවත්, වයස අවුරුදු 14ට අඩු ජනගහනය ලක්ෂ 45 දක්වා පහළ වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙරට සිටින වැඩිහිටි ජනගහනය සහ ළමා ජනගහනය අතර පරතරය පසුගිය වසරේදී සැලකිය යුතු ලෙස වෙනස් වී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. මහ බැංකු වාර්තාවට අනුව 2018 වසරේදී වයස අවුරුදු 55ට වැඩි ජනගහනය ලක්ෂ 38ක් වී ඇති අතර එය 2024 වසරේදී ලක්ෂ 38.4 දක්වා වර්ධනය වී ඇත. එහෙත් පසුගිය වසරේදී එම සංඛ්‍යාව නැවතත් ලක්ෂ 51.9 දක්වා ඉහළ ගොස් ඇත.

තවද වයස අවුරුදු 0ත් 14ත් අතර ජනගහනය 2018 වසරේදී ලක්ෂ 54.7ක්වී ඇති බවත් එය 2024 වසරේදී ලක්ෂ 55.3ක් දක්වා පහළට පැමිණි බවත් මහ බැංකු වාර්තාව පෙන්වා දුන්නේය. එය පසුගිය වසරේදී ලක්ෂ 45 දක්වා තවදුරටත් පහළ වැටී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

එම දත්ත අනුව 2024 සිට 2025 දක්වා කාලය තුළ වයස අවුරුදු 55 සහ ඊට වැඩි ජනගහනය ලක්ෂ 13.4කින් පමණ ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 0ත් 14ත් අතර ජනගහනය ලක්ෂ 10.3කින් පමණ පහළ ගොස් ඇත.

කෙසේ නමුත් මෙම වාර්තාවේ 2025 ජනගහන දත්ත වාර්තා කර ඇත්තේ 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත පදනම් කරගෙන වන අතර 2024 ජනගගහන දත්ත වාර්තා කර ඇත්තේ 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත පදනම් කරගෙනය.