(අංජුල මහික වීරරත්න)
 
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
 
ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වු ජනතාව සවිබල ගැන්විම සඳහා වන රජයේ වැඩසටහන  2025.12.5 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය මඟින් ප්‍රකාශට පත්කළ අතර, එම සහන තවදුරටත් පුළුල්  2025.12.20 දිනැති  අංක 08/2025(i)  දරන චක්‍රලේඛය හා 2026.01.22 දිනැති අංක 08/2025(iii) දරන චක්‍රලේඛය මෙසේ නිකුත් කර ඇත.
 
අදාළ නව චක්‍රලේඛයට අනුව සමාජ සවිබල ගැන්විමේ වැඩසටහන පහත පරිදි වේ.
 
ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණහිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රුපියල් 200,000 ක්ද
ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට  රුපියල් 200,000ක් ද ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට    රුපියල් 50,000 ක්ද වශයෙන් ලබා දෙනු ඇත.
ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට රුපියල්  50,000ක් පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදු කරන ව්‍යාපාරික ස්ථානයකට රුපියල්  25,000 බැගින්ද ලබාදීමට තීරණය වී තිබේ.
හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට‍ ගෙවනු ලබන දීමනාව  රුපියල් 500,000 ක් සහ හානි තක්සේරුවකින් පසුව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට  තක්සේරුගත වටිනාකම මත ගෙවනු ලබන උපරිම දීමනාව රුපියල්  5,000,000 ක් බැගින්ද සහන ලබා දීමට කටයුතු යොදා ඇත.