(රෝෂන් තුෂාර)

අනතුරට පත් වාහන සඳහා රක්ෂණ වන්දි ගෙවීමට අදාල රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ දී රජයේ අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලික රක්ෂණ සමාගමේ ඉංජිනේරුවරයා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඉංජිනේරු සනත් ප්‍රියන්ත රණවීර සැකකරු මෙසේ ඇපමත මුදා හැරුණි.

පුද්ගලික රක්ෂණ සමාගම රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ දී පැමිණිල්ලේ පළමු සැකකරු වන විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ජයමාන්න යන අයගේ සේවය ලබා ගැනීම නිත්‍යානුකූල ව සිදුකර ඇතැයි සඳහන් කරමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.