(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5 වන සහ 6 වන වාරික දෙක එකට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව මැයි මාසයේදී ඩොලර් මිලියන 700ක මුදලක් ලංකාවට ලැබෙන බව ජනපතිවරයා  සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුම හෙට(9) කොළඹදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ ජනපතිවරයා එම දිනය වන විට මාණ්ඩලික මට්ටමේ එකඟතාවලට එළඹීමට අදහස් කරන බවද ජනාධිපතිවරයා කීය.

ආසියා සංවර්ධන බැංකුවේ සභාපති සහ නියෝජිතයන් සමග ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පැවැසූ ජනපතිවරයා ඔවුන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.2ක ප්‍රදානයන් මේ වසර තුළ සිදු කිරීමට එකඟතාවය පළ කර තිබෙන්නේ යැයි සඳහන් කළේය. 

ලෝක බැංකුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් ලැබීමට නියමිත යැයි ද ඒ අනුව විදෙස් සංචිත වල ප්‍රශ්නයක් ඇතිවීමේ අනතුර අඩු බවද ජනාධිපතිවරයා කීය.