(ගයාන් සූරියආරච්චි)

මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා අනියම් බිරිය කනත්තට කැදවාගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන අනියම් සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 ඇය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි  හතලිස්පස් හැවිරිදි වෙළෙද සේවිකාවක බව කියයි.

මියගිය කාන්තාව සැකකරු සමග වසර 8 ක් පමණ අනියම් සබදතාවය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව සැකකරු තවත් කාන්තාවක් සමග මිත්‍රවී ඇය විවාහ කරගැනීමට සිට ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

පසුව සැකකරු සහ අනියම් බිරිය අතර මතභේද හට ගෙන තිබූ අතර සිද්ධිය වූ දින සැකකරු අනියම් බිරිය සමග තම මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා ගුරුනගර් ප්‍රදේශයේ සුසාන භූමියක් තුළට ගොස් ඇති අතර එහිදී අනියම් බිරියගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.

එහිදී සිරුර ගිනි ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ අනියම් බිරිය යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු විසින් පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පොලිසියට පවසා ඇති බව පොලිසිය කියයි.

වහාම ක්‍රියාත්මක වූ යාපනය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, රෝහල පාර පදිංචි ආරක්ෂක නිලධාරියකු (40) බව පොලිසිය පවසයි.