(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට   මැතිසබයට ව්‍යවස්ථාදායක බලයක් නොමැති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (9)  දැනුම් දුන්නේය.

එසේම එවැනි පියවරක් ගතහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා  විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා  විපක්ෂයේ මන්ත්‍රීවරුන්  බාර දුන් යෝජනාව සම්බන්ධයෙන්  සිය මතය ඉදිරිපත් කරමිනි

කතා නායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ පාර්ලිමේන්තුවේ දැඩි  උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙහිදී  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී කතානායකවරයා " මම මගේ මතය දීලා ඉවරයි. ඒ ගැන දැන් කතා කරන්න බැහැ’  යනුවෙන් පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ  අද අධිකරණය ගැන සෙවීමට බලපෑම් කරන්නේ විපක්ෂය බව සඳහන් කළේය.

වෙනද එය කළේ ආණ්ඩු පක්ෂය බවද ඔහු කීය.

කතානායකතුමා මතය ප්‍රකාශ කළ පසු එය විවාදයට ගත නොහැකි බවද  බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නීතිඥ  අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි.

පාර්ලිමේන්තුව ඒ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා බවත් කතානායකතුමා කරන්නේ ඒ බලය යටපත් කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ  අධිකරණයට පාර්ලිමේන්තුවට සහ විධායකයට දී ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලය බවයි.

මේ තුනේ යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැන මැදිහත්වීමට ජනතාව මන්ත්‍රීවරුන් පත් කර ඇති බව කරුණාතිලක මහතා පැවසීය.

මන්ත්‍රීවරැන් කමිටුව ඉල්ලා සිටියේ ඒ මහජන යුතුකම ඉටුකිරීමට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

කමිටුව ප්‍රතික්ෂේප කිරීම ජනතා පරමාධිපත්‍යයට එරෙහි වීමක් මෙන්ම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් වලට විරුද්ධව යෑමක් බවද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රී නිශාම් කාරියප්පර්  මහතා පැවසුවේ කතානායකවරයාගේ තීරණයෙන්   ස්ථාවර නියෝග උල්ලංඝනය වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ  කතානායකවරයාගේ තීරණය ජනතාවගේ ස්වෛරීත්වයට හානිකර බවයි.

එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා  කීවේ   චෝදනා  සියල්ල  ප්‍රතික්ෂේප කරන බවයි.

යළි අදහස් දැක්වූ සභානායක බිමල් රත්නායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුව  සතු බලය හෑල්ලු කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.

පාර්ලිමේන්තුව අවුල් කිරීමේ අරමුණ ඇත්තේ අද විපක්ෂයට බවද රත්නායක මහතා පැවසීය.